Tuesday, May 30, 2017

පිය සෙනෙහස












ඇත්නම් සෙනෙහසක්
   කිසිදිනෙක මුවගින් නොපවසන
එනමුදු සාගරය තරම් සුවිසල්
   ඒ නම් පිය සෙනෙහසම පමණයි

ඇති කල්හි වුව නැති කල්හි වුව
   කිසිදු අඩුවක් නම් නැත දැනුනේ
මා නමින් රන් මහලක් වුව තැනිය හැකි
   පියාණෙනි ඒ ඔබම පමණයි

මා නෙතට කදුලක් ඉනු දුටු තැන
   ඔහුගේ ද නෙත් තෙමෙන්නේ
ජීවිතයම මා නොවන නිසා නොවේ ද
   ඔබයි පියණෙනි සිව්කොනින් මට රැකවරණය දුන්

දිනෙන් දින උස් මහත් වී
   හැකි වුවත් යමක් කමක් කර ගන්නට
නැත මා ළග ඔහුගේ සෙවනැල්ලක් හෝ
   හැර ගොසින් පිය සෙනෙහස මා ජීවිතය

ඇති කලටත් වඩා නැති කලට
   දැනෙයි ගෙවෙන සෑම තත්පරයම සුවිසල් පෙම
පෙර කළ පවක් පරිසන් දෙවමින්
   ඒ මහා පිය සෙනෙහස හැර ගොසින් මා

ඔබේ දෙනෙතින් දුටු ආදරය
   නැත කිසිදිනෙක යළි දකින්නේ
මතු උපදින හැම භවයෙම
 දිව්රන්න මෙපරිද්දෙන් මා හැර නොයන බව

දුර්ගන්ධ ජීවිතේ













උදේම යයි සූට් බූට් ඇදගෙන
සුවද හමයි සමීපයෙන් සෙන්ට් පවුඩර්
හවසට එයි ගේ දොරකඩට
ඇදි සූට් බූට් අවුල් කරගෙන

පසුම්බියෙ මිල මුදල් ටිකෙන් ටික
දියවෙන්නෙ කුමකටද
මරණය නොවේ ද මිලට ගන්නේ
ගද ගහන බෝතලයක හැංගුන

කියන්නෙ කවරක් ද නොදනී
පියවි සිහිය මැකී ගොස්
හොදටෝම මත් වී
සෙම පෙරෙයි වැටුණු වැටුණු තැන

ඔබෙන් ජීවිතය දකින්නට
කෙනෙකු සිටියි ඔබ සන්තකයේ
ඔහුගේ නමින් හෝ
දුර්ගන්ධ ජීවිතෙන් මිදෙන්නට හැකි ද ඔබට  

හදවතෙහි හුදකලාව















පාලූව තනිකම දසත වෙලාගෙන
ළඟින් ඔබ නැති නිසා
දැනෙන තනිකම බෙදා ගන්නට
කිමද ඔබ නොඑන්නේ
හදවතම හුදෙකලාවෙන් නැහැවිලා

නෙතට නැත සැනසුමක්
විටින් විට මඟ බලයි
ඔබේ නීල නෙත් දකින්නට
මුමුණන පෙම් කවි  නැත ඇසෙන්නේ
හදවතම හුදෙකලාවෙන් නැහැවිලා

ඔබෙ උරෙන් හිස තබා
ගෙවන්නට හැක කල්පයක්
නමුදු තත්පරයක උණුහුමක් වුව ලබන්නට
අනේ මට බැරි වුණා
නෙත හඬයි ඉකි ගසයි
හදවතම හුදෙකලාවෙන් නැහැවිලා

Sunday, May 28, 2017

චණ්ඩ වූ ජල පහර

 
ස්වභාවධර්මය හරි පුදුමාකාරයි. අව්ව වැස්ස ස්වභාවධර්මය අපට දුන්නු දායාද.  ඕනෑම දෙයක්  ඕනෑවට වඩා  ඕනේ නෑ කියන්නාක් මෙන් අව්ව ද වැස්ස ද  ඕනෑවට වඩා ලැබෙන කල්හි එය දරා ගැනීමට මිහිපිට ජීවත් වන සත්වයින්ට අපහසුයි.
       අව්ව නම් එපා වන තරමටම පහුගිය කාලය පුරාවටම ලැබුණු බව කවුරුත් දන්නා කරුණයි. වැහි දෙවියන්ට කන්නලව් කෙරුවේ වැහි බිදුවක ආශිර්වාදය මේ කර්කෂ පොළොවට අත්‍යාවශ්‍යම මෙහොතකයි.
       ඔව් ඇසුණි අහසට ඔබ අපගේ කන්නලව්ව. නමුදු නැතිවුණි සීමාවක් වහින්නට වුණි ධාරානිපාත වැසි පොළොව තෙතබරිත කරමින්. ගතවූයේ පැය කිහිපයක් පමණි බිලි වුණි සිය ගණනින් ජීවිත හිත් පිත් නැති රුදුරු ජල පහරට. හයක් හතරක් නොතේරෙන පුංචි සිගිත්තා නොහදුනන චණ්ඩ ජල පහර ඔප්පු කෙරුවේ ස්වභාවධර්මයට ද කුරිරු විය හැකි බව නොවේ ද.
      වැස්සක සේයාවක් හෝ පෙනෙන මානයක නොතිබුණු ඔවුනට අද තම දුක් මහන්සියෙන් ගොඩනගා ගත් පුංචි නිවහන පෙනෙන මානයක හෝ හිදින්නට නොහැක. ඒ කුරිරු වූ අහස, ඔබ මා මව් දෙරණ හිත් පිත් නැති පරිද්දෙන් දියබත් කළ නිසාය.
      කැලණි ගගට පෙම් කළ අපට අද හූල්ලමින් සිටිනු විනා ඊට වෛර කරන්නට නොහැක. මන් ද එළඹෙන පොසොන් පෙහොය දිනයේ කැලණි ගග පසුකොට කැලණි පුද බිමට පින් සිතින් ගොඩ වන්නට හිතෙහි ඇති භක්තිය නිසායි.
     ලෝකයේ අන් කවර රටක හෝ නොමැති සැබෑ මනුසත්කම අද මගේ පුංචි මව් රටේ අස්සක් මුල්ලක් නෑරම දෝරෙ ගලා ගිහින්. අභිමානයෙන් කියන්නට හැක හිත් පිත් නැති රුදුරු ජල පහර දියබත් කළ ද මා මව් දෙරණ, ඔබට නොහැකි වුණි මා මව් දෙරණේ සැබෑ මනුසත්කම දියබත් කරන්නට.

    එකම ආයාචනය, දිවිහිමියෙන් රකින්න සොබාදහම් මාතාවෝ.........කුරිරු නොවේවී නැවත වරක් සොබාදහම ඔබ අප ජීවිත බිලි ගන්නට තරම්.......

Wednesday, May 24, 2017

අම්මා
















ජීවිතයට වසන්තය
ගෙන ආවේ ඔබයි මගෙ අම්මේ
එනමුදු ඔබ දුක් විදී තවමත්
මා හිස කිරුළු පළදවන්නට

වරින් වර නොකීව ද
ඔබ මට ආදරේ වග
මා ඔබේ ජීවිතය වග
දැනෙයි හැම තත්පරයකම

වයසින් මුහුකුරා ගොස්
නමුදු නොමැත මෙලොව
ඔබවන් මා හදුනා ගත් කෙනෙකු
ඔබයි මගේ හොදම මිතුරිය

රිදවන්නට ඇත හඩවන්නට ඇත
නමුදු නැත කිසිවිටක
පළිගන්න හදන්නේ
ළගින් සිටින අන් අය වාගේ

මා හඩන විට හඩන්නට
මා හිනැහෙන විට හිනැහෙන්නට
මා සමග ජය ගී ගයන්නට
සිටියේ ඔබයි සිටින්නේ ද ඔබයි

ණයගැතියි සදා ණයගැතියි
ඔබට මගෙ අම්මේ
ජීවිතයම ඔබයි
සදා ආදරණීය අම්මේ

මතු බුදු වන්නට
පින් ඇතත් ඔබට
නැවත එක් වරක් හෝ මගේ මව් වන්නට
හැකි ද මගෙ අම්මේ

Sunday, May 14, 2017

අමරණීය අමරදේවයාණෝ


            




       වනක්කුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොහොත් ඩබ්. ඞී. අමරදේවයන් වර්ෂ 1927 දෙසැම්බර් මස 05 වන දින මොරටුවේ දී උපත් ලැබීය. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ඩබ්. ඞී. අමරදේවයන් සිංහල සංගීතයේ මුදුන් මල්කඩ බදුය.  සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්ත‍්‍රීය සංගීත භාණ්ඩ එක් කර ගනිමින් සිංහල ජන සංගීතය හා භාරත ජන මූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
            වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා හා බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මව්පිය යුවලට දාව අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත්, මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ‍්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවයන්ට ලැබිණි.
         අමරදේව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලූත්වැඩියා කරන්නෙකු ලෙස සේවය කළ ඔහුගේ පියා විසිනි. අමරදේව කුඩා කළ තම මවගේ ස්තෝත‍්‍ර ගායනා වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඩවන්නට පුරුදුව සිටියේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදේවගේ සංගීත  ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වනවිට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවිය.
             කොරලවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප‍්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන් විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සදහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග‍්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමට ද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.
          ශී‍්‍ර සද්ධර්මෝදය බෞද්ධ මිශ‍්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වනු ලැබූ කවි ගායනා තරගයකින් ජයග‍්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් පවත්වනු ලැබූ ගායනා තරගයකින් ජයග‍්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදා විය. මෙම ජයග‍්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු ඔහුව ලංකා ගුවන් විදුළි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුළත් කිරීමට ක‍්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප‍්‍රදර්ශනය කරන අමරදේව 1945 දී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායන හා වයලීන තර`ගයකින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
        තම ප‍්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග‍්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබිණි. එහිදී විදුහල්පති ඞී. ටී. ප‍්‍රනාන්දු මහතා සමග දැන හැදුනුම්කමක් ඇති කර ගැනීමට ඔහුට හැකි විය. ඉන්පසු ප‍්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනී.
        මෙකලදී අශෝකමාලා චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඞ් ජේ. පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත‍්‍රපටයේ සංගීතය මෙහෙය වූ මෙහොමඞ් ගවුස් මාස්ටර් වෙත හදුන්වා දෙනු ලැබීය. අමරදේවයන්ගේ ශක්‍යතාවයන් හදුනා ගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප‍්‍රමුඛතම වයලීන් වාදක ශිල්පියා බවට අමරදේව පත් කරනු ලැබීය. 1950 වර්ෂය මැද භාගයේ දී ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඬේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වන අමරදේවයන් සංගීතය පිළිබ`දව වැඩි දුරටත් හදාරනු ලැබීය.
        තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මෙහොමඞ් ගවුස් සම`ග එක්ව චිත‍්‍රපටයක වැඩ ස`දහා ඉන්දියාව බලා යයි. ‘ඇයි යමෙකු කළේ ආලේ’ ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත‍්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් විය.
        ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඬේ අධ්‍යාපන ආයතනයෙන් ලැබූ පරිචයත් සමග ලංකා ගුවන් විදුළියෙහි නිත්‍ය ගායකයෙකු ලෙසින් සේවයට එක්වීම තුළින්, ස්වකීය ප‍්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වඩා පුළුල් ශ‍්‍රාවක ගහනයක් කරා සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව ඔහුට උදා විය. භාත්ඛණ්ඬේ අධ්‍යාපන ආයතනයේ දී ලබන සතතා අභ්‍යාසයන්ගේ දැනුමත් සමග දොන් ඇල්බට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කුවත්ත වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබා දෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසිනි.
           මේ සමය වන විට ශ‍්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවධිය වූ අතර, ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිත සංගීතය කවරක් ද යන ගැටළුව, සමාජීය ප‍්‍රාඥයන්, කලාකරුවන් හා පොදු මහජනතාව අතර විමසීමට බදුන් විය මෙම තත්ත්වයන්ට අනුකූලව ස්වදේශික ජන සංගීතය සමග, ඉන්දියාවේ දී හැදෑරූ සංගීතයත් ඇසුරු කොට ගෙන වඩා විශිෂ්ඨ වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේවයන් සමත් විය.
         දකුණු ඉන්දියානු හා ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වියx ශ‍්‍රී ලංකාවේ අසහාය ගී පද රචකයෙකු වූ මහගමසේකරයන් හා එක්ව අමරදේවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත‍්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබ`ද වූ ඔහුගේ අනන්‍ය ප‍්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය නිරූපණය කරන්නක් බවට පත්ව තිබේ.
        කරදිය, නළදමයන්ති ආදී කාව්‍යමය නාට්‍ය  ගම්පෙරළිය, රන් සළු, දෙලොවක් අතර, ගැටවරයෝ,   තුන් මං හන්දිය ආදී චිත‍්‍රපට වෙස්සන්තර නූර්තිය ආදී කෘතීන් ගණනාවකට මෙන්ම ගුවන් විදුළ හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට මෙන්ම සංගීතය නිර්මාණයට ද අමරදේවයන්ට හැකියාව ලැබිණි.
          2002 වර්ෂයේ දී ඉන්දියානු පද්ම ශ‍්‍රී සම්මානයෙන් ද, 1998 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ දේශමාන්‍ය සම්මානයෙන් ද, 1986 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානයෙන් ද ඩබ්. ඞී. අමරදේයන් පිදුම් ලැබීය. 1967 වර්ෂයේ දී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම හා ගවුමි සලාම් නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා තනුව නිර්මාණයට දායක වීමෙන් ඔහු ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය සැලකොට තිබේ.
         හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය ඩබ්. ඞී. අමරදේයන් සප්ත ස්වරයෙන් ශී‍්‍ර ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත් කරමින් සංගීතවත් කළ, ගායනා කල ගීත අනන්තය අප‍්‍රමාණය. පෙර දිනයක මා පෙම් කළ යුවතිය, ඈත කදුකර හිමව් අරණේ, නිම් හිම් සෙව්වා මා සසරේ, රත්න දීප ජන්ම භූමි, ගිමන් හරින දියඹ දිගේ, හන්තාන සිහිනේ, තන්හා ආශා, සසර වසන තුරු, ආරාධනා වැනි අමරණීය ගීත රාශියක් අමරදේවයන්ගේ ගීත ගොන්න අතර පවතී.
        භාෂාවේත්, නාදයේත්, හඩ මාධූර්යයේත් සුවිශිෂ්ඨ සුසංයෝගය දේශයේ මහා ගාන්ධර්ව ඩබ්. ඞී. අමරදේව ශූරීන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ අමරණීය කලාකරුවෙකි.

                                                                                    

වැස්ස

  කර්කෂ වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම...