Sunday, June 11, 2017

බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ - විරෝධාකල්ප ගීත විචාරය

 බිමට වඩින් බිමට වඩින්
 ස්වර්ණමාලි කුමාරියේ   
අන්න ගොරබිරම් රකුසෝ
අමු කැළෑ බිදන් එනවෝ
                දිව සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
              රුක් විමනින් පෙළොවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ
              නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ලයේ
               පූජා කළ මිනිසත් බව රකුසු වෙසින් ඒවි ලියේ
ළපලූ නටන අප සියොළග විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තන්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ
                අගිල් කපුරු සුවද දුමින් අප පැදකුණු කළ වැසියෝ
              නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
              පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
              අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ

                                         ගායනය       -     අයිවෝ ඩෙනිස්
                                         සංගීතය        -     පේ‍්‍රමසිරි කේමදාස
                                         පද රචනය     -      අජන්තා රණසිංහ
               



                     කලාව වනාහි මිනිසා සමාධිගත කරවන ලොව බිහි වූ අපූර්වතම මාධ්‍යයකි.  කලාව නම් වූ මෙම අපූර්වතම මානව ක‍්‍රියාවලියෙහි ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.  ගීතයක් පෝෂණය වෙන්නේ නිර්මාණකරුවන් තිදෙනෙකුගේ දායකත්වය ඔස්සේය. ගීත රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන කලාකරුවන් ති‍්‍රත්වයකගේ නිර්මාණශීලී, විශිෂ්ඨ කර්තවය හමුවේ ගීතයෙහි රසය විදින්නට රසිකයාට අවස්ථාව උදා වේ. අපූර්වතම සංකල්පනාවක් ඔස්සේ ගොඩනැගුණු පද රචනාවට සංයෝග කරනු ලබන ඊටම අවැසි ගී තනුව මෙන්ම ගීතයෙහි අපූර්වත්වය රසිකයාගේ සිත්සතන්හි කාවද්දන්නට හැකි වූ ගායන විලාසය යන මෙකී අංග ත‍්‍රිත්වයම නිර්මාණශීලී වූද විශිෂ්ඨ වූද ගීතයක බිහි වීම කෙරෙහි බලපායි. ගීතය ඔස්සේ සමාජය තුළ ප‍්‍රබල සමාජ මතවාදයක් ගොඩනගන්නට හැකි වනවා සේම ආදරය, විරහව වැනි සංවේදී මනුෂ්‍ය හැගීම් ප‍්‍රකාශනයටද හැකියාව පවතී. ගීතයක කාලය හා  අවකාශය සීමිතව පවතින අතර ගී සංකල්පනාව රසිකයා වෙත ගෙන යන්නේ මෙම සිමිත කාල පරාසය තුළදීය.
                     ගීත සාහිත්‍යයෙහි විවිධ වර්ගීකරණයන් යටතේ හඳුනා ගැනීමට හැකි අපූරු ගීත පවතී. මේ අතරින් විරෝධාකල්ප ගීත යනු තවත් එක් වර්ගීකරණයකි. සැබැවින්ම විරෝධාකල්ප ගීත යනු මොනවාද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරෝධාකල්පය යනු සමාජ විරෝධී යම් සිද්ධාන්තයක් එනම් යම් සමාජ අසාධාණයක් වස්තු බීජය කර ගනිමින් නිර්මාණය වූ ගීත වේ. පවතින සමාජය හෝ වේවා පුද්ගල ජීවිතය හෝ වේවා විවේඡනයට ලක් කරමින් නිර්මාණය වන විරෝධාකල්ප ගීත සාහිත්‍යය කලාත්මක රසය රැගත් කලා නිර්මණයක් පමණක්ම නොව පවතින සමාජ ක‍්‍රමය තුළ පවතින අසාධාරණත්වය විවේඡනයට ලක් කරමින් මුළු මහත් සමාජයටම යම් මෙහෙවරක් ඉටු කරන කලා කෘතියකි. විශේෂයෙන්ම විවිධ තේමාවන් එනම් ආදරය, විරහව හා සම්බන්ධ සමාජ අසාධරණත්වය, කාන්තාවන්ට සමාජය තුළ සිදුවන අසාධරණත්වය සේම පවතින සමාජ ක‍්‍රමය තුළ පවතින අසාධාරණ ක‍්‍රියා පටිපාටීන් සම්බන්ධයෙන්ද ලියවූණු යම් විරෝධ ආකල්පයක් පිළිබිඹු කරන ගීත රාශියක් අපට හමු වේ.
                   මෙම ගීත විචාරය සදහා සමාජ විරෝධ ආකල්ප ගීත අතරින් මා විසින් තෝරා ගනු ලැබුවේ අතිශයින්ම ප‍්‍රබල සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් ලියවූනූ ගීයකි. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ඨ පද රචනයෙන්ද, පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ අපූරු සංගීත සුසංයෝජනයෙන්ද, අයිවෝ ඩෙනිස් නම් වූ ප‍්‍රවීන ගාන්ධර්වයාගේ ගායන කෞශල්‍යයෙන්ද සුපෝෂිත මෙම විරෝධාකල්ප ගීතය වන්නේ බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ යන ගීතයයි. මෙම ගීතය හරහා සමාජයට අනාවරණය කරනූ ලබන විරෝධාකල්පය වන්නේ ස්වභාවික සම්පත් විනාශයයි. දැයේ ජීවනාලිය බදු වූ ස්වභාව සෞන්දර්යය විනාශ කරමින් මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරගනු ලබන්නා වූ මෙම සාහසික අපරාධය හෙලා දකිමින් මීට වසර ගණනාවකට පෙර ලියවුණද වත්මනටද කාලීනව වැදගත් වන අපූරු සංකල්පනාවක් රැගත් ගීතයක් ලෙස ස්වර්ණමාලි කුමාරියේ ගීතය හදුනා ගැනීමට හැකිය. අදාළ සංකල්පය සමාජගත කිරීමට උචිතම වචන මාලාවක් අජන්තා රණසිංහයන් විසින් යොදා ගෙන ඇත. සමාජයේ දැවෙන ප‍්‍රශ්නයක් පිළිබදව සිදු කරන විග‍්‍රහයක් නිසා මටසිලූටු, සංවේදී, හැගීම්බර   වාග් විලාසයක් භාවිත කර නොමැත. වඩාත් ප‍්‍රබල වචන මාලාවක්, කේමදාසයන්ගේ ස්වර රටා සමග මුසු වී එම වචනවලට ජීවී බවක් එක්කාසු කිරීමට හැකි වී ඇති අතර ඊටම අවැසි ගායන කෞශල්‍යය ඊටම මුසු වන්නේ හරි අපූරුවටය.

බිමට වඩින් බිමට වඩින්
ස්වර්ණමාලි කුමාරියේ
අන්න ගොරබිරම් රකුසෝ
අමු කැළෑ බිදන් එනවෝ

             මෙම ගීතයෙහි පද පේළි එකින් එක ගෙන මෙතැන් පටන් විරෝධාකල්පය සමාජයට ගෙන යන ආකාරය විග‍්‍රහ කෙරේ. වන විනාශය නම් වූ මහා සාහසික අපරාධය පිළිබදව ලියවුණු මෙම ගීතය පුරාවට සාකව්ඡාවට ගැනෙන්නේ අතීතයේ පැවති සමාජ වටපිටාව තුළ දේවත්වයෙන් වැදුම් පිදුම් කෙරූ වෘක්ෂලතාවෝ වර්තමානය වන විට මනුෂ්‍ය ප‍්‍රජාව විසින් විනාශ කරන ආකාරය පිළිබදවයි. මෙම සාහසික අපරාධය සිදු කරන මනුෂ්‍ය වර්ගයා අජන්තා රණසිංහයන් විසින් උපමා කොට ඇත්තේ ගොරබිරම් රකුසන්ටය. මහා රාක්ෂයන් ලෙසින් වියරු වී, භයානක වී යක්ෂා වේසයෙන් ගස් කොලන් වලින් සුපෝෂිත වූ වන අරණ අති භයානක ලෙස විනාශයට පත් කරයි. මේ මහා විනාශය දැක ඉන්නා තැනක සිට බිමට වඩින්නට ස්වර්ණමාලි කුමරියට ආයාචනා කරයි. ඈත අතීතයේ රජ දවස රුවන්වැලි මහා සෑ රදුන් ඉදි කරන සමයේදී එම ස්ථානයේ උසට සරුවට වැඞී තිබුණු රන් තෙළිඹු ගහක් කපා ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ අවස්ථාවේ එම ගසෙහි වැඩ සිටි ස්වර්ණමාලි මහා දිව්‍යාංගනාවන් වහන්සේට එම ගසෙන් බැස යන්නට ආයාචනා කොට ඇත. එලෙස බැසගිය දෙවගනට ගෞරවයක් වශයෙන් ඇය වැඩ සිටි ස්ථානයේ ඉදිකළ මහා සෑය රුවන්වැලි මහා සෑය ලෙසින් නම් කරන ලදී. එම සිද්ධිය සිදු වී වසර ගණනාවක් ගතවන කල්හි මනුෂ්‍ය වේසයෙන් පැමිණි කැලෑ ගිනිබත් කරන මහා රාක්ෂයන් පලවා හරීන්නට ඉන්නා තැනක සිට මෙම මිහිමතට වැඩම කරන ලෙස ස්වර්ණමාලි කුමරියට ආයාචනා කරන්නේ මෙම සමාජ විරෝධී ක‍්‍රියාවෙහි පවතින භයානක බව මොනවට පැහැදිලි කරමිනි.

දිස සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
රුක් විමනින් පෙළොවට වැඩි ස්වර්ණමාලි කුමරියේ
නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ලයේ
පූජා කළ මිනිසත් බව රකුසු වෙසින් ඒවි ලියේ

                   ඈත අතීතයේ මිනිසුන්ගේ මහා කන්නලව්ව තමන් සතු දිව්‍ය ඥාණයෙන් ඇසු ස්වර්ණමාලි කුමරිය මනුෂ්‍යයන් වෙනුවෙන් තමන් වැඩ සිටි මහා වෘක්ෂයෙන් මහා පෙළොවට වැඩම කරයි.  ඒ ගස මුදුනෙහි වැඩ සිටි දිව්‍යාංගනාව වෙනුවෙන් මහ පොළොවෙහි මිනිසා සිදුකළ කන්නලව්වට සවන් දීමෙන් අනතුරුවයි. හරිත වර්ණයෙන් බැබළෙන තුරුලිය දැයේ ජීවනාලිය වන්නා සේම මනුෂ්‍ය පැවැත්ම උදෙසා මෙම නිල්ල නිලන තුරුලිය මහගු මෙහෙවරක් ඉටු කරයි. එවැනි ස්වභාව සෞන්දර්යය විනාශ කරමින් රකුසු වේසයෙන් මිනිසත් බව අබමල් රේණුවක් හෝ ඉතිරි වී නොමැති සමාජයක පවතින භයානක බව ගේය පද රචකයා මෙම කොටස හරහා සමාජගත කිරීමට උත්සාහ දරයි. මිනිසා හා ගස්වැල් ඇතුළුව සමස්ත පරිසරයම සතුව පවතින ගහට පොත්ත වැනි අවියෝජනීය වූ බැදීම බිද දමමින් , ගස්වැල් නිසා තමාට සිදුවන මෙහෙය අමතක කරමින් අතීත ජනතාව ගතකළ පරිසරය හා ලබැදි සාමූහික ජීවිතය වෙනුවට එකී පුරුෂාර්ථ විනාශ කර දමමින් වර්තමාන මිනිසා සමකාලීන සමාජ, දේශපාලන වටපිටාව තුළ සැබවින්ම රාක්සයෙකු බවට පත් වී ඇත. මේ අනුව මෙම පද පේළිය හරහා පෞද්ගලිකවාදී දෘෂ්ඨීයේ ඇති අංගවිකල බව උත්ප‍්‍රාසයට නංවයි. එනම් පරිත්‍යාගශීලී නිස්සරණාද්‍යාශය එනම් ලාභ ප‍්‍රයෝජන නොතකා කටයුතු කරනු ලැබූ මනුසත්භාවය වෙනුවට ඊට විරුද්ධ වූ මනුෂ්‍යත්වයේ ආත්මාර්ථකාමී හැගීම් අතිශයින්ම විවේඡුනයට ලක් කරයි. ඒ හරහා අජන්තා රණසිංහයන් සමාජය තුළ ගෙඩනැතීමට උත්සාහ දරණ සමාජ විරෝදාකල්ප මතවාදය වන්නේ ගස්වැල් කපා දමමින් අති දරුණුතම අපරාධයක තතු සමාජයට හෙලිදරව් කිරීමයි.

ළපලූ නටන අප සියොළග විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තන්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැුක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ

                  නිර්මාණශීලී ගීපද ප‍්‍රකාශනයක සොදුරු බව තවදුරටත් තහවුරු කරමින් භයානක මනුෂ්‍ය පීඩාවනට නතුවන ගසක අදෝනාව ඉදිරිපත් කරන්නේ ස්වර්ණමාලි කුමාරියට රුක් විමානයෙන් මිහිපිටට වඩින ලෙස නැවත නැවතත් ආයාචනා කරමිනි. වසර කෝටි ගණනක් මුළුල්ලේ, ගව් හාරසියයක් පමණ ගස්වැල් වඩාත් සාමකාමීව, යහතින් වැඩ උන් බවත්, ‘අපනමින් ගීතය පුරාවට ව්‍යවහාර කෙරෙන ගස්වැල් තුරුලේ හැදී වැඩෙන ලා ගෙඩි පැහුණු ගෙඩි බවට පත් වී අප ජීවිතය සොබාදහම් මාතාව තුරුලේ  වඩාත් රමණීය ලෙසින් ගත වූ බව ගීත රචකයා විග‍්‍රහ කොට දක්වයි. නමුත් තණ්හාව නැමැති උමතුවෙන් වියරු වැටුණ මිනිසා, තම පණ නල නසන්නට පැමිණි තමාගේ මාරයා ලෙස දකියි. එනිසාම ඔවුන් නැවත නැවතත් තම පණ නල රැුක දෙන්නට ස්වර්ණමාලි කුමාරියට ආයාචනා කරයි. මනුෂ්‍යත්වය වෙනුවට තෘෂ්ණාවෙන් කුපිත වූ මිනිසා මෙකී පුරුෂාර්ථයන් මතු කිරීමට තවත් එක් හේතුවක් ලෙසින් සමකාලීන සමාජ දේශපාලන බලයද හේතුවන බව කවියා මෙම පද පෙළෙහි යටි පෙළ අරුතෙන් කීමට උත්සාහ කරයි. මිනිසත් බවේ ගුණදම් බිද දමමින් සාහසික ලෙස ගස්වැල් විනාශ කර දමන්නට මිනිසා පොළඹවන්නට ඍජුව හෝ වක‍්‍රව සමකාලීන දේශපාලන වටපිටාවද යම්තාක් දුරකට බලපෑම් කරයි. අතීතයේදී ගතකළ ස්වභාව සෞන්දර්යයට ලැදි ජීවිතය වෙනුවට වර්තමාන මිනිසා මුදල්, බලය මත යැපුණු අධික තෘෂ්ණාවෙන් දිවි ගෙවන කල්හි ගස්වැල් රැක ගන්නට ස්වර්ණමාලි කුමරියගේ   පිහිට ලබා දෙන්න යැයි සිදු කරනු ලැබූ බැගෑපත් ආයාචනයකි.

අගිල් කපුරු සුවද දුමින් අප පැදකුණු කළ වැසියෝ
නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ

                    ඈත අතීතයේදී වෘක්ෂලතාවන් හද පිරි ගෞරව පූර්වක භක්තියෙන් ඇදහූ මිනිසුන් සිටි යුගයක සුවද දුම්, සුවද මල්, කපුරු රැුගෙන වෘක්ෂලතා වටා ප‍්‍රදක්ෂිනා කරන්නට තරම් එම වැසියන් යහපත් ගුණධර්මයන්ගෙන් සුපෝෂිත වූ පිරිසක් වූහ. දේවත්වයෙන් ඇදහූ වෘක්ෂලතාවන් තමාගේ ජීවනාලිය බදු යැයි සිතූ ඔවුන් තම පණ මෙන් ගස්වැල් ආරක්ෂා කරයි. ස්වභාවධර්මය ඉතා හොදින් රැුක බලා ගත්තේ මනුෂ්‍ය වර්ගයා සතු කළගුණ සැලකීමේ ගුණය මොනවට ඔප්පු කරමිනි. නමුත් අද ඒ මිනිසාම දුර්ගුණ ඇති පුද්ගලයෙකු බවට පත් වී සොබාදහම විනාශ කරමින් නිරුදක කතරක් එනම් ජල බිදකුදු නොමැති වූ මූසල කාන්තාරයක් හෙට දවසේදී නිර්මාණය කරන බව කවියා පවසන්නේ මෙකී සමාජ අසාධාරණත්වයේ පවතින බරපතල බව තවදුරටත් සමාජයට හෙලිදරව් කරමිනි. අතීතයේදී මිනිසුන්ගේ දුක් ගැනවිලිවලට සාවදානව සවන් දුන් දෙවි දේවතාවූන්ට අද තෙද බල අහිමිව ගොස් අවි බලයට තම හිස නමන්නට සිදුව ඇති බව කවියා තවදුරටත් පවසයි. අවියට, පෙරෝවට, කියතට හිස නමනවා විනා ඊට එරෙහිව නැගී සිටින්නට මහා තෙද බලැති දෙවියන්ටවත් නොහැකිව ඇති යුගයක වෘක්ෂලතා වෙනුවන් කතා තරන්නට කිසිවෙකු හෝ නොවන බව අවසාන වශයෙන් පවසයි. මෙම පද පේළිය තුළින්ද ඔප්පු කිරීමට උතසාහ ගෙන ඇත්තේ පවතින සමාජ ක‍්‍රමය තුළ දේශපාලන බල පුළුවන්කාරකම්වලට හිස නමන්නට මිනිසුන්නට පමණක් නොව දෙවියන්ටද සිදුවී ඇති බව ගේය පද රචකයා යටි පෙළ අර්ථය හරහා කීමට උත්සාහ ගෙන ඇත. ගීතයෙහි අවසානය වන විට මෙම සමාජ අසාධරණයේ පවතින බරපතල බව සමාජයට අවධාරණය කරන අතරම දෙවියන්ට හෝ පිහිට වීමට බැරි ලෙසින් මෙම සමාජ ගැටලූව උඩු දුවා ඇති බව කීමට උත්සාහ ගෙන ඇත.
                        ‘වන විනාශයනැමැති සමාජ අසාධාරණත්වය වෙනුවෙන් රචිත සමාජ විරෝදාකල්ප ගීයක් වන මෙම ගීතය අජන්තා රණසිංහයන්ගේ තේමාවට උචිත අපූරු පද පේළියට රමණීය බව එක්කාසු කරන්නට  තනු නිර්මාපක පේ‍්‍රමසිරි කේමදාසයන්ට හැකි වී ඇති අතර තම අපූරු ගායන විලාසය හරහා එම රමණීය ගී තනුවට මනෝ රමණීය බව එක්කාසු කරන්නට අයිවෝ ඩෙනිස් නැමැති අත්විශිෂ්ඨ ගායන ශිල්පියාට හැකි වී ඇත.  අවසාන වශයෙන් බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේගීතය ප‍්‍රචාරකවාදී විරෝදා කල්ප ගීතයක් නොව නිර්මාණශීලී විරෝදාකල්ප ගීතයක් වන බව හදුනා ගැනීමට හැකිය.

6 comments:

වැස්ස

  කර්කෂ වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම...