ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුධාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ දිවයිනකි. සංස්කෘතිකය, අර්ථිකය, දේශපාලනය මෙන්ම ස්වභාව සෞන්දර්ය ගැන කතා කළ ද අප රටට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ හේතුවෙන් වර්තමානය වන විට සංචාරක කර්මාන්තය, මෙරටට ආර්ථික ප්රතිලාභයන් රාශියක් අත් කර දෙන කර්මාන්තයක් බවට පත් වී ඇත.
දෙස් විදෙස් කා අතරත් වඩාත් ප්‍රකට
සංචාරක පාරාදීසයන් ගණනාවක් ලංකාවට ආවේණිකව පවතී. නමුත් සංචාරකයන්ගේ පාරාදීසය කියූ
සැනින් මා මතකයට නම් එන්නේ අන් කවරක්වත් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෙත් සිත්
වශී කරන සුන්දර නුවර එළියයි. ඔබ ලංකාවෙහි කවර ඉසව්වක ජීවත් වුව ද ජීවිතයේ එක් වරක්
හෝ සුන්දර නුවර එළියෙහි සංචාරය කර නොමැති නම් එය මහත් අඩුවක් ලෙස මට නම් හැඟේ.
මන්ද යත් නුවර එළියෙහි ඔබ, අප විඳින සිසිලස, සුන්දරත්වය මිහිපිට අන කවර තැනක දී වුව ලබා
ගැනීමට නොහැකි වන බවට මා හට විශ්වාස නිසාය. එක් වරක් ඔබ නුවර එළියෙහි සංචාරය කළ
කෙනෙක් නම් නැවත වතාවක් එහි යන්නට ඔබව පෙළඹවීමට තරම් හැකියාවක් රමණීය නුවර එළියට
ඇති බව නම් නොරහසකි. සැබවින්ම ඒ
සුන්දරත්වය වචනයෙන් කීමට නොහැකි තරමට සුවිසල්ය.
පසුගිය වසර
ගණනාවක පටන්ම බොහෝ දේශීය සංචාරකයන්ගේ නිවාඩු නිකේතනය බවට පත් වන්නේ සුන්දර නුවර
එළියයි. විශේෂයෙන්ම කොළඹ ඇතුළව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කටෝර දේශගුණයෙන් මිදී
වඩාත් සුවදායී සති අන්තයක්, නිවාඩුවක් ගත කිරීමේ අරමුණින් මෙලෙස සංචාරකයන්
තම නිවාඩු නිකේතනය බවට නුවර එළිය පුරවරය තෝරා ගනී. නුවරඑළියට එන යන කාටත් වඩාත්
සුවදායී දේශගුණයක් අත් විඳීමට හැකියාව පවතින බවට නම් කිසිදු සැකයක් නැත.
නුවරඑළයෙහි
සංචාරය කරන්න්ගේ නොවරදින සංචාරක ස්ථානයන් කිහිපයක්ම පවතී. ග්‍රෙගරි වැව, හග්ගල උද්භිද උද්‍යානය, හෝර්ටන්තැන්න, ලෝකාන්තය වැනි ස්ථාන මේ අතර වඩාත් සුවිශේෂීය. දෙස් විදෙස් සංචාරකයන්
නුවරඑළියට පැමිණෙන්නේ ම මෙවැනි අති රමණීය ස්ථානයන්හි සුන්දරත්වය විඳ ගැනීමටයි.
විශේෂයෙන්ම ප්‍රේමවන්තයින්ට නම් සුන්දර නුවරඑළිය ප්‍රේමණීය මතක සැමරුම් රාශියක් ඔවුන්ගේ
ආදරයට මෙන්ම ජීවිතයට ද එක් කරයි. ඇතැම් ප්‍රේම කතා ආරම්භ වන්නේම ප්‍රේමණීය
නුවරඑළියෙනි. පෙම්වතුන්ට පමණක් නොව පවුලේ සියල්ලන්ටම තම නිවාඩුව විවේකීව හා වඩාත්
සුවදායී ලෙස ගත කිරීමට නුවරඑළිය අපූරු තෝතැන්නකි.
නුවරඑළයෙහි අසිරිය
පාරිසරික වශයෙන් ඉතා වැදගත් වනවා සේම ඊට එහා ගිය වටිනාකමක් ද එහි දී අත් විඳින්නට
හැකිය. වසරේ ඇතැම් කාල වකවානුවලදී නුවරඑළි පුරවරයට පතිත වන මල් තුහින ඇඟ කිළිපොලා
යන අධික සීතලක් පරිසරයට එක් කරයි. එමෙන්ම මල් තුහින පතිත වන දර්ශනය සංචාරකයන්ට
කිසිදා අත් නොවිඳි සොඳුරු දසුනක් බවට පත් වෙයි.
No comments:
Post a Comment