Saturday, June 17, 2017

අපේකමයි ගී තනුවයි........

                         ශ‍්‍රී ලාංකේය ජන සමාජයට ආවේණික වෙමින් එහි අනන්‍ය ලක්ෂණ ප‍්‍රකට කරමින් නිර්මාණය වූ ගී විශේෂයක් ලෙසින් ජන කවි, ජන ගායනා හදුනා ගැනීමට හැකිය. එම නිසාම ජන කවි හා ජන ගායනා සාම්ප‍්‍රදායික ගැමි ජනයාගේ අත්දැකීම්වල කැඩපතක් ලෙස ද හැදින්විය හැකිය. චිරාත් කාලයක් පුරා පරපුරෙන් පරපුරට, සංස්කෘතියෙන් සංකෘතියට පැවත ආ ජන කවි හා ජනගායනා තුළින් අතීත ගැමියා විදි සියලූ දුක් කම්කටොලූ හා ඔවුන්ගේ සංස්කෘතිය තමාගේ හුරු ගැමි බස යොදා ගනිමින් මොනවට ඉදිරිපත් කොට ඇත.
                         මිනිසා ශිෂ්ඨාරගත වීමටත් පෙර යුගයේ සිට ජන කවි හා ජන ගායනා සදහා ආකෘති සකස් වන්නට ඇතැයි සිතිය හැකිය. එනිසාම ජනකවියෙහි උපත සියවස් ගණනක් ඈතට දිව යන්නක් ලෙසින් දැක්විය හැකිය. අතීත මානවයා සිය අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාෂාව දැන හැදින ගත් දා පටන් සිත් සතන්හි හටගත් නොයෙක් චින්තනයන් අන් අයට දැනවීමේ අරමුණ පෙරදැරිව ජන කවි, ජන ගායනා නිර්මාණය විය. අතීත ජනයා සිය ජීවන වෘත්තිය, ආධ්‍යාත්මික සිතුවිලි, ආගමික ගුණ දහම් යනාදිය පසුබිම් කර ගනිමින්, ඒ සම්බන්ධව අදහස් දැක්වීමට භාෂාව පන්හිදක්ව යොදා ගනිමින්, මනා ගැළපීමක් ඇතිව පද යොදා ජන කවි, ජන ගායනා නිර්මාණය කර ගත්හ.
                      එළිවැට, එළිසමය පිළිබදව නොදත් යුගයේ පවා ගැමි ජනතාව තම අදහස් ඉදිරිපත් කළ කවි ස්වරූපය බිහි වීමේදී පුද්ගලයන් හතර දෙනෙක් හෝ ඒ ආසන්න පිරිසක් විසින් වරින් වර පදයෙන් පදය ඉදිරිපත් කර ඇත. එක් පුද්ගලයෙක් පදයක් ඉදිරිපත් කරන විට අනෙක් පුද්ගලයා නිහඩව සිටියි. නමුත් පද හතර එක් වී මුඛ පරම්පරාගතව හා ලේඛනගතව විකාශය වන විට එක් පුද්ගලයෙකු විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.
                      තමා හා තම පිරිස ආරක්ෂා කරන්නා වූ අදෘශ්‍යමාන බලවේගයක් වෙනුවෙන් ආමන්ත‍්‍රණය කිරීමට පිරිසක් එක්ව පැදි ලෙස ඉදිරිපත් කරන ජන ගායනා ද දැකිය හැකිය. පසු යුගයේ දී විවිධ විනොදාස්වාද ක‍්‍රමවේද නිර්මාණය කර ගත් ගැමියා ඒ සදහාද ජන ගී යොදා ගත්හ. එවන් ජන ගී ලෙස මේවරකෙළිය, ඔළි`දකෙළිය, එළුවන් කෑම, ප‍්‍රශස්ති, වන්නම් හැදින්විය හැකිය.
                       ගැමි ජනයාට පෞද්ගලිකව දැනෙන්නා වූ සුඛ දුක්ඛ හැගීම් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වූ ජනකවි දෙවියන් උදෙසා, පවුල් ජීවිතයේ ගෙවෙන්නා වූ දුක් ගැහැට මෙන්ම තමන් යෙදුණු කර්මාන්තයේ විදින්නා වූ සියලූ හැගීම් ඉදිරිපත් කරයි. ඒ අනුව පතල් කවි, පාරු කවි, පැල් කවි, පෙම් කවි, ටීකා කවි, සංවාද කවි, උපදේශාත්මක කවි ආදිය බිහි විය.
                         ගීතය පිළිබදව අවධානය යොමු කිරීමේ දී එය අනෙකුත් කලා මාධ්‍යයන් මෙන් එනම් නවකතාව, කෙටිකතාව, කවිය වැනි කේවල මාධ්‍යයක් නොවේ. එය ගීත රචකයා, සංගීතඥයා, ගායකයා යන කලාකරුවන් ත‍්‍රිත්වයෙහි නිපැයුමක් ලෙසින් හදුනා ගැනීමට හැකිය. මේ තිදෙනාගේම සාර්ථකත්වය එකී ගීතයෙහි සුන්දරත්වය, ගුණාත්මකභාවය තුළින් සාර්ථකත්වය නිර්මාණය කිරීමෙහි ලා බලපායි.
                          ජනප‍්‍රියත්වය පිටුපස දුවන නූතන ගීත රැල්ල වඩාත් සම්භාව්‍ය එකක් ලෙසින් විග‍්‍රහ කිරීම අපහසුය. නමුත් මෙහි දී විග‍්‍රහ කරනු ලබන්නේ ජන කවි, ජන ගායනා ආශ‍්‍රය කර ගනිමින් නිර්මාණය වූ වඩාත් අපූරු ගීත කිහිපයක් පිළිබදවයි.
                             සාම්ප‍්‍රදායික කවි නාද මාලා ඇසුරු කර ගනිමින් නිර්මාණය කර ඇති අග‍්‍රගණ්‍ය සරල ගීයක් ලෙස, පලංචියේ ලී ඉරුවේ අපි එකට යන ගීතය හැදින්විය හැකිය. ගායනයෙන් සුනිල් එදිරිසිංහයන් සමගින් එඞ්වඞ් ජයකොඩිද, අපූරු සංගීතයෙන් රෝහණ වීරසිංහයන් ද, ගේය පද රචනයන් වසන්ත කුමාර කොබවක ද මීට දායක විය.
        පලංචියේ ලී ඉරුවේ අපි එකට
        මල් පැන් පොදක් රහ බැලූවේ අපි එකට
        එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
‍        ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට
                 ඉතා අහිංසක ජීවිතයක් ගත කරන මිතුරන් දෙදෙනෙකු අතරින් මතු වූ ආදරයක්, සෙනෙහසක් ඉදිරියේ දෙදෙනාම එක් අයෙක්ට පෙම් කිරීම මත ඇති වූ දුක්මුසු සිතුවිලි දාමයක් ඉස්මතු කර දැක්වීම මෙම අගනා ගීතයෙහි තේමාවයි. මිතුරන් දෙදෙනා එකට ගත කළ සෑම මෙහොතක් පිළිබදවම ඉතා සුන්දර පද පෙළක් තුළින් විද්‍යාමාන කර ඇත. පලංචියේ ලී ඉරුවේ අපි එකට, මල් පැන් පොදක් රහ බැලූවේ අපි එකට ආදී වශයෙනි.මෙකී අදහස, තේමාව උද්දීපනය කිරීම සදහා රෝහණ වීරසිංහයන් විසින් යොදා ගෙන ඇත්තේ සාම්ප‍්‍රදායික ජන ගී ශෛලියෙහි ආභාසයයි. සාම්ප‍්‍රදායික ජන ගී ශෛලියෙහි එන සුරරද සමන් යන ජන ගීය ඇසුරු කර ගනිමින් මෙහි තනුව නිර්මාණය වී ඇත. පෙම් දම් නිසා මිතු දම් සිද දමන්න ද, හොද හිත නුඹෙ තරම් ලොවකින් ලබන්න ද යන්න පද පේළි දෙක රිද්මය මත පිහිටා අනාඝාතාත්මක ස්වරූපයෙන් නිර්මාණය වී ඇත. මේ සදහා සමුද්‍ර ඝෝෂ විරිත යොදා ගැනීම තුළ පද පෙළෙහි අදහස තවත් උද්දීපනය කරයි. එසේම සංගීතය නිර්මාණයේ දී ජන හඩට, ජන ගීතයට වඩා උචිත සිතාරය, බටනලාව වැනි සංගීත භාණ්ඩ තුළින් මතුකර ඇති ස්වර සංකලයන් තුළින් ගීතයෙහි භාවය තවත් ඔප මට්ටම් කරයි. මේ ආකාරයට ගීතයෙහි ගීතවත් බව ජන හඩට, ජන ගීයට උචිත ලෙස නිර්මාණය වී ඇති අතර මෙම සරල ගීතය ඉතා සාර්ථක සරල ගීයක් ලෙසින් දැකිවිය හැකිය.
                 දේශීය ජන නාද රටා ඇසුරින් නිර්මාණය වූ සරල ගීයකි අක්ක නගාලගෙ බොලද සිනායන සරල ගීතය. පද නිර්මාණය කොට ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. එහි ඇති ගැමි සංකල්පය ගැමි ශ‍්‍රැතියකට ගැයීම සදහා උචිත වූවකි. එම නිසාම මෙම නිර්මාණය සදහා සංගීතය නිර්මාණය කරන ලද දයා රත්නසේකර මහතා විසින් ශාන්ති කර්ම ගී ඇසුරින් තනුව නිර්මාණය කොට ඇත. නෙරිය තබා සුදු සේල අදිනවායන රට යකුමේ එන ශාන්තිකර්ම අන්තර්ගත ශ‍්‍රැති රදන ගුණය හා පද රටා ගුණය මැනවින් ඇසේ. එම ගී කොටසේ ස්වර රටාවන් සාම්ප‍්‍රදායික ශාන්තිකර්ම ගී පාදයේ නාදමාලාවේ ස්වර රටාවන්ට ඉතාමත් ළග ඇසුරක් පවතී. එමෙන්ම ගැමි ගී ගායනයේ දී නිරන්තරයෙන්ම ඇතිවන සුවිශේෂී ලක්ෂණයක් වූ පහත් ස්වරයක සිට එකවර උස් ස්වරයක් දක්වා නැග ගොස් ක‍්‍රමයෙන් අවරෝහණව එන ස්වභාවයක් එම ගීතයේ ද යෙදී ඇත. බෙරය, රබාන, ගෙජ්ජි හඩ වැනි දේශීය භාණ්ඩ යොදා ගනිමින් ගැමි ජනතාවට ඉතා ළං වූ, හුරුපුරුදු වූ මිහිරි සංගීතයක් නිර්මාණය කොට ඇත.
                 ජන ගී නාද රටා පාදක කර ගත් තවත් සරල ගීයක් ලෙස අමරදේව මහතා විසින් ගයන ලද රන්වන් කරල් සැලෙයි යන ගීතය දැක්විය හැකිය. දේශීය උඩරට නර්තන සාම්ප‍්‍රදායේ එන තුරගා වන්නම ඇසුරු කර ගනිමින් ගී තනුව නිර්මාණය වී ඇත. මෙම ගීතයේ නාද මාලාව මෙන්ම ජාති ලක්ෂණයන්ට තුරගා වන්නම බෙහෙවින් සමානකම් දක්වන බව කිව හැකිය.
තුරගා වන්නම මාත‍්‍රා 2/3 යන ජාති ලක්ෂණය අනුව ගයයි. එනම්,
සත්/ වෙත්ම/ හත්/ අදර........ යන ආකාරයෙනි.
සරල ගීතයේද පද එම ජාති ලක්ෂණය අනුවම ගයයි.
රන්/ වන්ක/ රල්/ සැලෙයි
                     මෙම ගීතය ගායනා කරන අමරදේවයන්ගේ දේශීය ජන හඩ තුළින්ද මේ ගීතයේ දේශීයත්වය වඩාත් තහවුරු වන බව කිව හැකිය. එසේම දේශීය සංගීත භාණ්ඩ ඇසුරු කර ගනිමින් තනුවට උචිත ලෙස එම භාණ්ඩ සංකලනය තුළින් ද මෙම සරල ගීතය දේශීය ජන ගී ආරට මහත් සේ නෑකම් කියන බව පැහැදිලි කර ඇත.
                      මහින්ද දිසානායක ප‍්‍රවීන ගේය පද රචකයා විසින් රචිත, සුනිල් එදිරිසිංහ කලාකරුවා විසින් ගායනා කරන, ලප නැති සදක් ඇති නිලඹරක් කිකලෙක නමුත් දුටු වේද ඔබත් නොපතන්න ඒ සා පුන්සදක් යන ගීතය ද දේශීය ජන ගී ආශ‍්‍රයම අනුව නිර්මිතය. සුභාෂිතයේ එන මිනිසා හට සොදුරු ගුණ හා නුගුණ ඇත යන සුභාෂිතයේ කවියක් පාදක කර ගනිමින් මෙය නිර්මිතය. මහින්ද දිසානායකයන්ගේ දියුණු වාග් කෝෂය, ජන සාහිත්‍ය අධ්‍යයනය, සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය මෙකී ගීතයේ පද රචනාව නිර්මාණය සදහා නොඅඩුව බලපා ඇත.
                       ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යයක්ෂණය කළ දඩුබස්නාමානය ටෙලි නාට්‍ය ඉතිහාසයෙහි ඉතා වටිනා නිර්මාණයකි. දඩුබස්නාමානය දේශීය සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් විශිෂ්ඨ තේමාවක් ඉදිරිපත් කිරීමට සමත් වූවකි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන පේ‍්‍රමසිරි කේමදාසයන් විසින් මූලිකවම හටන් කවි ආශ‍්‍රය කර ගනිමින් මෙහි තේමා ගීතය නිර්මාණය කොට ඇත. එමෙන්ම පැරණි හෙල ගායනා ශෛලියේ එන යාදිනී, සැහැලි, ස්තෝත‍්‍ර වැනි ගායනා කොටස් ඇසුරින් වඩා විශිෂ්ඨ තේමා වාදනයක් නිර්මාණය කොට ඇත. මෙකී ජන නාද රටා ඇසුරු කරමින් නිර්මිත මෙම තේමා ගීතය හා තේමා වාදනය ඔස්සේ ටෙලි නාට්‍යයේ හරය හා හැගීම මතු කිරීමට සමත් වී ඇත.
පැලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
ඉර පායා ඉර මුදුනට ගියාදෝ
සද පායා සද අවරට ගියාදෝ
                            ඩබ්. ඞී. අමරදේවයන් විසින් තම සංගීත ඥාණය උපයෝගී කොටගෙන ගැමි ජන ගීයේ ආභාසය කරගෙන නිර්මාණය වූ ගීයකි. ගැමි තරුණයාගේ කුළුදුල් වූද, නිර්ව්‍යාජ වූද ආදර සිහිනයක් බිද වැටීම තේමාව කරගත් මෙම පද පේළිය සදහා අමරදේවයන්ගේ තම නිර්මාණශීලී සංගීත ඥාණය මනා ලෙස උපයොගී කර ගනිමින් මිනිස් සිත් සතන් තුළ දුක පිළිබද සැබෑ වූ හැගීමක් ඇති කරමින් මහගමසේකරයන්ගේ කවි සීපද හරහා අසන්නාගේ නෙතට කදුලක් උනන්නට සමත් වී ඇත.

සොදුරු පෙතන් ගොඩ උයනට     වැඩියාය
නපුරු උණ කටුව පතුලේ             ඇනුනාය
එක්ව සිටි සැවොම මතු කොට      මතුලාය
රාජසිංහ දෙවි නාමෙත්                 මැකුණාය

                              මෙම හටන් කවිය ආශ‍්‍රය කර ගනිමින් කටේ කිරි සුවද යන්නට පවා බැරි වුණා යන විශිෂ්ඨ සරල ගීතය නිර්මාණය වී ඇත. එම කවි ගායනයේ දී යොදා ගත් ගැමි නාද මාලා උපයෝගී කොටගෙන කටේ කිරි සුවද යන්නට පවා බැරි වුණා යන ගීතය නිර්මාණය වී ඇත.
                              පෙරුමන් පුරා මා කුසට පැමිණි ආදරණීය බිලිදුනි ඔබ දුවක ද, ඔබ පුතෙකු ද වුව ඔබ මට රජ පැටියෙක් වග පවසමින් ආදරණීය මවකගේ හදවතෙහි තම කුළුදුල් දරුවා වෙනුවෙන් උපන් උතුම් පේ‍්‍රමය හා සම්බන්ධව නිර්මිත සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ යන මෙම ගීයෙහි හෘදයාංගම පදවැල් බන්දුල නානායක්කාර වසම්ගෙන්. හෙළ ජන ගී තනු රටා ඇසුරින් නිර්මිත මෙම ගී තනුව රෝහණ වීරසිංහයන්ගෙන්. නිරෝෂා විරාජිනියගේ මධුර මනෝහර හඩින් මේ ගීතය ඇසෙන විගසම පුංචි දරුවෙකු නලවන මවකගේ මුවින් පිටවන දරු නැලවිලි ගීයක මිමිණුම් හඩ අපට මතක් වන වග නොඅනුමානයි. රජ පැටියෙකු තම කුසින් බිහි කරන්නට මග බලාගෙන සිටින ආදරණීය මවකගේ දරු සෙනෙහස රසිකයාගේ හදවත සමීපයෙහි මනාව ගෙනහැර පෑම සදහා රෝහණ වීරසිංහයන් ඇසුරු කරගත් ජන ගී ආභාසය අනගිභවනීය වග මේ ගීතය රස විදින සියල්ලන්ටම වැටහෙන කාරණයකි.
                             වන්නම් යනුවෙන් හදුන්වන්නේ ද  ජන ගීය හා බැදුණු ගායනා විලාසයකි.  මහනුවර යුගයේ කවිකාර මඩුවේ ගායනා කර ඇති කවි විශේෂයක් වන උඩරට වන්නම් ඉන්දියාවේ පැමිණි ගණිතාලංකාර නම් බමුණෙකු විසින් රචනා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. නර්තනය, ගායනය, වාදනය යන ත‍්‍රිඅංශයෙන්ගේම පරිපූර්ණත්වයෙන් අපට වන්නම්වල උපරිම රසවින්දනය ලැබීමට පුළුවන.
                           රුක් අත්තන මල මුදුනේ ගීතය මහින්ද අල්ගමයන්ගේ අපුර්වතම ගී පද රටාවට, නන්දා මාලනියගේම අපූර්වතම හඩින් හැඩවෙන මෙම ගීතය උකුසා වන්නම ඇසුරින් පෝෂනය වූ ගී තනුවක් ලෙසින් හදුනා ගැනීමට හැකිය. විශේෂයෙන් ගීතයේ පූර්ව වාදනයේ ස්වර රටාවන් සාම්ප‍්‍රදායික උකුසා වන්නමෙහි සුවර රටාවන්ට ඉතාමත්ම ළග ඇසුරක් පවතී. උකුසා වන්නම අපට හමුවන්නේ උඩරට වන්නම් දහඅට අතරිනුයි. ගීතය පුරාවටම උකුසා වන්නමේ ස්වර සංගති, නාද රටා හරි හරියට ගලපමින් වඩා සාර්ථක ගැමි ජනයාට ඉතා ළං වූ හුරුපුරුදු මිහිරි සංගීතයක් නිර්මාණය කොට ඇත.   
                           සිංහල ජන නාට්‍ය අතර කෝලම්වලට හිමි වන්නේ වැදගත් තැනකි. සොකරිය තරම් පහසු නොවන කෝලම් සදහා පිළිගත් සිද්ධාන්ත පවතී. වෙස් මුහුණු නාට්‍ය ලෙසින් ද කෝලම් හදුන්වන අතර දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල කෝලම් ජනනාට්‍ය ප‍්‍රසිද්ධියට පත් වී ඇත. කෝලම් නාට්‍යයේ කතා වස්තු නිරූපණයේ දී මාධ්‍ය වශයෙන් උපයෝගී කර ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම සදහා කවියට නගා සකස් කරන ලද කතා වස්තු කිහිපයක් කෝලම් නාට්‍ය කණ්ඩායම සතුය. ඉනි එකකි ලෙංචිනා කෝලම. සුනිල් එදිරිසිංහයන්ගේ විශිෂ්ඨ ගායනාවෙන් හැඩවෙන ගීයකි ලෙංචිනා මගෙ නංගියේ.  රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ ගේය පද වලින් හා රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ඨ සගීතයෙන් සුපෝෂණය වූ මෙම ගීතය ආභාසය ලබන්නේ කෝලම් ගී තනු වලිනි. ගීතය ගායනා කරන සුනිල් එදිරිසිංහයන්ගේ දේශීය ජන හඩ තුළින් මේ ගීතයේ දේශීයත්වය වඩ වඩාත් තහවුරු කරන බව නොකිවමනාය. එසේම දේශීය සංගීත භාණ්ඩ ඇසුරු කර ගනිමින් තනුවට උචිත ලෙස එම භාණ්ඩ සංකලනය තුළින් ද මෙම සරල ගීතය දේශීය ජන ගී ආරට මහත් සේ නෑකම් කියන බව තවදුරටත් ඔප්පු කරයි. 

                        මීට අමතරව සිංහල ගීත ක්ෂෙත‍්‍රයේ ගීත රාශියක් ජන ගී ඇසුරින් නිර්මාණය වී ඇත. කදුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා, සද සාවී මා, සාරි පොඩිත්තක් ඇදගෙන, මල්සරා බැල්ම හෙලා මගේ කනට කොදුරනවා, සාර සදිසි පෙති පේර නෙලාලා වැනි ගීත ද ජන ගී තනු රටා ඇසුරින් නිර්මාණය වී ඇත.

Tuesday, June 13, 2017

සොඳුරු නිවහන

                       නතර වන්නට කොයිතරම් නැවතුම් තිබුණත්........ තිබේ ද ඔබේ නිවහන තරම් ඉස්තරම් නැවතුමක් ඔබට මොහොතකට වුව නතර වන්නට...... නිවහන තරම් අප හිත් සොරාගත්  සොදුරු තැනක් තවත්  නොමැති තරම්.
                     ඔබේ නිවහන මුතු මැණිකෙන් නිම වූ සුපිරි මාළිගාවක් ද......  පොල් අතු සෙවිලි කළ පුංචි පැල්පතක් ද.... එය මාළිගාවක් වුව ද, පැල්පතක් වුව ද කම් නැත. වැදගත් වන්නේ ඒ නිවහනෙහි ඔබ අප ගත කරන නිදහස් මෙන්ම සුන්දර මොහොතයි.
                   එක මොහාතක්.... බාධා කරන්නට කිසිවෙකු නැත. නිහඩ බව බිදෙන්නේ හද ගැස්මෙන් පමණි. ඒ....නිවහනෙහි මා තනි වූ මොහොතයි. මිහිරි මතකයන්, අමිහිරි මතකයන් මකාලයි තනිකම. මැවෙයි නෙක සිතුවම් සුන්දර නිවහනේ චමත්කරයෙන්.
                  තවත් මෙහොතක් ගෙවන්නේ......  තම දුක සැප බෙදා ගනිමින් සතුටු සාමිචියේ යෙදෙමින්. තරු පහේ හෝටලයක ගත කළ ද කෙලෙස ගත කරන්න ද මෙවන් සුන්දර මොහොතක් තම අය සමග බතක සම්බෝලයක රස විදිමින්.
                ලොව වටා කොතැනක ඔබ සංචාරය කළ ද නිවහනෙහි අත් විදින සුන්දරත්වය,  නිවහන අපට ගෙන එන සෙවන කෙලෙස භුක්ති විඳින්න ද........     

Sunday, June 11, 2017

බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ - විරෝධාකල්ප ගීත විචාරය

 බිමට වඩින් බිමට වඩින්
 ස්වර්ණමාලි කුමාරියේ   
අන්න ගොරබිරම් රකුසෝ
අමු කැළෑ බිදන් එනවෝ
                දිව සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
              රුක් විමනින් පෙළොවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ
              නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ලයේ
               පූජා කළ මිනිසත් බව රකුසු වෙසින් ඒවි ලියේ
ළපලූ නටන අප සියොළග විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තන්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ
                අගිල් කපුරු සුවද දුමින් අප පැදකුණු කළ වැසියෝ
              නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
              පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
              අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ

                                         ගායනය       -     අයිවෝ ඩෙනිස්
                                         සංගීතය        -     පේ‍්‍රමසිරි කේමදාස
                                         පද රචනය     -      අජන්තා රණසිංහ
               



                     කලාව වනාහි මිනිසා සමාධිගත කරවන ලොව බිහි වූ අපූර්වතම මාධ්‍යයකි.  කලාව නම් වූ මෙම අපූර්වතම මානව ක‍්‍රියාවලියෙහි ගීතයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.  ගීතයක් පෝෂණය වෙන්නේ නිර්මාණකරුවන් තිදෙනෙකුගේ දායකත්වය ඔස්සේය. ගීත රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන කලාකරුවන් ති‍්‍රත්වයකගේ නිර්මාණශීලී, විශිෂ්ඨ කර්තවය හමුවේ ගීතයෙහි රසය විදින්නට රසිකයාට අවස්ථාව උදා වේ. අපූර්වතම සංකල්පනාවක් ඔස්සේ ගොඩනැගුණු පද රචනාවට සංයෝග කරනු ලබන ඊටම අවැසි ගී තනුව මෙන්ම ගීතයෙහි අපූර්වත්වය රසිකයාගේ සිත්සතන්හි කාවද්දන්නට හැකි වූ ගායන විලාසය යන මෙකී අංග ත‍්‍රිත්වයම නිර්මාණශීලී වූද විශිෂ්ඨ වූද ගීතයක බිහි වීම කෙරෙහි බලපායි. ගීතය ඔස්සේ සමාජය තුළ ප‍්‍රබල සමාජ මතවාදයක් ගොඩනගන්නට හැකි වනවා සේම ආදරය, විරහව වැනි සංවේදී මනුෂ්‍ය හැගීම් ප‍්‍රකාශනයටද හැකියාව පවතී. ගීතයක කාලය හා  අවකාශය සීමිතව පවතින අතර ගී සංකල්පනාව රසිකයා වෙත ගෙන යන්නේ මෙම සිමිත කාල පරාසය තුළදීය.
                     ගීත සාහිත්‍යයෙහි විවිධ වර්ගීකරණයන් යටතේ හඳුනා ගැනීමට හැකි අපූරු ගීත පවතී. මේ අතරින් විරෝධාකල්ප ගීත යනු තවත් එක් වර්ගීකරණයකි. සැබැවින්ම විරෝධාකල්ප ගීත යනු මොනවාද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරෝධාකල්පය යනු සමාජ විරෝධී යම් සිද්ධාන්තයක් එනම් යම් සමාජ අසාධාණයක් වස්තු බීජය කර ගනිමින් නිර්මාණය වූ ගීත වේ. පවතින සමාජය හෝ වේවා පුද්ගල ජීවිතය හෝ වේවා විවේඡනයට ලක් කරමින් නිර්මාණය වන විරෝධාකල්ප ගීත සාහිත්‍යය කලාත්මක රසය රැගත් කලා නිර්මණයක් පමණක්ම නොව පවතින සමාජ ක‍්‍රමය තුළ පවතින අසාධාරණත්වය විවේඡනයට ලක් කරමින් මුළු මහත් සමාජයටම යම් මෙහෙවරක් ඉටු කරන කලා කෘතියකි. විශේෂයෙන්ම විවිධ තේමාවන් එනම් ආදරය, විරහව හා සම්බන්ධ සමාජ අසාධරණත්වය, කාන්තාවන්ට සමාජය තුළ සිදුවන අසාධරණත්වය සේම පවතින සමාජ ක‍්‍රමය තුළ පවතින අසාධාරණ ක‍්‍රියා පටිපාටීන් සම්බන්ධයෙන්ද ලියවූණු යම් විරෝධ ආකල්පයක් පිළිබිඹු කරන ගීත රාශියක් අපට හමු වේ.
                   මෙම ගීත විචාරය සදහා සමාජ විරෝධ ආකල්ප ගීත අතරින් මා විසින් තෝරා ගනු ලැබුවේ අතිශයින්ම ප‍්‍රබල සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් ලියවූනූ ගීයකි. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ඨ පද රචනයෙන්ද, පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ අපූරු සංගීත සුසංයෝජනයෙන්ද, අයිවෝ ඩෙනිස් නම් වූ ප‍්‍රවීන ගාන්ධර්වයාගේ ගායන කෞශල්‍යයෙන්ද සුපෝෂිත මෙම විරෝධාකල්ප ගීතය වන්නේ බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ යන ගීතයයි. මෙම ගීතය හරහා සමාජයට අනාවරණය කරනූ ලබන විරෝධාකල්පය වන්නේ ස්වභාවික සම්පත් විනාශයයි. දැයේ ජීවනාලිය බදු වූ ස්වභාව සෞන්දර්යය විනාශ කරමින් මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරගනු ලබන්නා වූ මෙම සාහසික අපරාධය හෙලා දකිමින් මීට වසර ගණනාවකට පෙර ලියවුණද වත්මනටද කාලීනව වැදගත් වන අපූරු සංකල්පනාවක් රැගත් ගීතයක් ලෙස ස්වර්ණමාලි කුමාරියේ ගීතය හදුනා ගැනීමට හැකිය. අදාළ සංකල්පය සමාජගත කිරීමට උචිතම වචන මාලාවක් අජන්තා රණසිංහයන් විසින් යොදා ගෙන ඇත. සමාජයේ දැවෙන ප‍්‍රශ්නයක් පිළිබදව සිදු කරන විග‍්‍රහයක් නිසා මටසිලූටු, සංවේදී, හැගීම්බර   වාග් විලාසයක් භාවිත කර නොමැත. වඩාත් ප‍්‍රබල වචන මාලාවක්, කේමදාසයන්ගේ ස්වර රටා සමග මුසු වී එම වචනවලට ජීවී බවක් එක්කාසු කිරීමට හැකි වී ඇති අතර ඊටම අවැසි ගායන කෞශල්‍යය ඊටම මුසු වන්නේ හරි අපූරුවටය.

බිමට වඩින් බිමට වඩින්
ස්වර්ණමාලි කුමාරියේ
අන්න ගොරබිරම් රකුසෝ
අමු කැළෑ බිදන් එනවෝ

             මෙම ගීතයෙහි පද පේළි එකින් එක ගෙන මෙතැන් පටන් විරෝධාකල්පය සමාජයට ගෙන යන ආකාරය විග‍්‍රහ කෙරේ. වන විනාශය නම් වූ මහා සාහසික අපරාධය පිළිබදව ලියවුණු මෙම ගීතය පුරාවට සාකව්ඡාවට ගැනෙන්නේ අතීතයේ පැවති සමාජ වටපිටාව තුළ දේවත්වයෙන් වැදුම් පිදුම් කෙරූ වෘක්ෂලතාවෝ වර්තමානය වන විට මනුෂ්‍ය ප‍්‍රජාව විසින් විනාශ කරන ආකාරය පිළිබදවයි. මෙම සාහසික අපරාධය සිදු කරන මනුෂ්‍ය වර්ගයා අජන්තා රණසිංහයන් විසින් උපමා කොට ඇත්තේ ගොරබිරම් රකුසන්ටය. මහා රාක්ෂයන් ලෙසින් වියරු වී, භයානක වී යක්ෂා වේසයෙන් ගස් කොලන් වලින් සුපෝෂිත වූ වන අරණ අති භයානක ලෙස විනාශයට පත් කරයි. මේ මහා විනාශය දැක ඉන්නා තැනක සිට බිමට වඩින්නට ස්වර්ණමාලි කුමරියට ආයාචනා කරයි. ඈත අතීතයේ රජ දවස රුවන්වැලි මහා සෑ රදුන් ඉදි කරන සමයේදී එම ස්ථානයේ උසට සරුවට වැඞී තිබුණු රන් තෙළිඹු ගහක් කපා ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ අවස්ථාවේ එම ගසෙහි වැඩ සිටි ස්වර්ණමාලි මහා දිව්‍යාංගනාවන් වහන්සේට එම ගසෙන් බැස යන්නට ආයාචනා කොට ඇත. එලෙස බැසගිය දෙවගනට ගෞරවයක් වශයෙන් ඇය වැඩ සිටි ස්ථානයේ ඉදිකළ මහා සෑය රුවන්වැලි මහා සෑය ලෙසින් නම් කරන ලදී. එම සිද්ධිය සිදු වී වසර ගණනාවක් ගතවන කල්හි මනුෂ්‍ය වේසයෙන් පැමිණි කැලෑ ගිනිබත් කරන මහා රාක්ෂයන් පලවා හරීන්නට ඉන්නා තැනක සිට මෙම මිහිමතට වැඩම කරන ලෙස ස්වර්ණමාලි කුමරියට ආයාචනා කරන්නේ මෙම සමාජ විරෝධී ක‍්‍රියාවෙහි පවතින භයානක බව මොනවට පැහැදිලි කරමිනි.

දිස සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
රුක් විමනින් පෙළොවට වැඩි ස්වර්ණමාලි කුමරියේ
නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ලයේ
පූජා කළ මිනිසත් බව රකුසු වෙසින් ඒවි ලියේ

                   ඈත අතීතයේ මිනිසුන්ගේ මහා කන්නලව්ව තමන් සතු දිව්‍ය ඥාණයෙන් ඇසු ස්වර්ණමාලි කුමරිය මනුෂ්‍යයන් වෙනුවෙන් තමන් වැඩ සිටි මහා වෘක්ෂයෙන් මහා පෙළොවට වැඩම කරයි.  ඒ ගස මුදුනෙහි වැඩ සිටි දිව්‍යාංගනාව වෙනුවෙන් මහ පොළොවෙහි මිනිසා සිදුකළ කන්නලව්වට සවන් දීමෙන් අනතුරුවයි. හරිත වර්ණයෙන් බැබළෙන තුරුලිය දැයේ ජීවනාලිය වන්නා සේම මනුෂ්‍ය පැවැත්ම උදෙසා මෙම නිල්ල නිලන තුරුලිය මහගු මෙහෙවරක් ඉටු කරයි. එවැනි ස්වභාව සෞන්දර්යය විනාශ කරමින් රකුසු වේසයෙන් මිනිසත් බව අබමල් රේණුවක් හෝ ඉතිරි වී නොමැති සමාජයක පවතින භයානක බව ගේය පද රචකයා මෙම කොටස හරහා සමාජගත කිරීමට උත්සාහ දරයි. මිනිසා හා ගස්වැල් ඇතුළුව සමස්ත පරිසරයම සතුව පවතින ගහට පොත්ත වැනි අවියෝජනීය වූ බැදීම බිද දමමින් , ගස්වැල් නිසා තමාට සිදුවන මෙහෙය අමතක කරමින් අතීත ජනතාව ගතකළ පරිසරය හා ලබැදි සාමූහික ජීවිතය වෙනුවට එකී පුරුෂාර්ථ විනාශ කර දමමින් වර්තමාන මිනිසා සමකාලීන සමාජ, දේශපාලන වටපිටාව තුළ සැබවින්ම රාක්සයෙකු බවට පත් වී ඇත. මේ අනුව මෙම පද පේළිය හරහා පෞද්ගලිකවාදී දෘෂ්ඨීයේ ඇති අංගවිකල බව උත්ප‍්‍රාසයට නංවයි. එනම් පරිත්‍යාගශීලී නිස්සරණාද්‍යාශය එනම් ලාභ ප‍්‍රයෝජන නොතකා කටයුතු කරනු ලැබූ මනුසත්භාවය වෙනුවට ඊට විරුද්ධ වූ මනුෂ්‍යත්වයේ ආත්මාර්ථකාමී හැගීම් අතිශයින්ම විවේඡුනයට ලක් කරයි. ඒ හරහා අජන්තා රණසිංහයන් සමාජය තුළ ගෙඩනැතීමට උත්සාහ දරණ සමාජ විරෝදාකල්ප මතවාදය වන්නේ ගස්වැල් කපා දමමින් අති දරුණුතම අපරාධයක තතු සමාජයට හෙලිදරව් කිරීමයි.

ළපලූ නටන අප සියොළග විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තන්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැුක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ

                  නිර්මාණශීලී ගීපද ප‍්‍රකාශනයක සොදුරු බව තවදුරටත් තහවුරු කරමින් භයානක මනුෂ්‍ය පීඩාවනට නතුවන ගසක අදෝනාව ඉදිරිපත් කරන්නේ ස්වර්ණමාලි කුමාරියට රුක් විමානයෙන් මිහිපිටට වඩින ලෙස නැවත නැවතත් ආයාචනා කරමිනි. වසර කෝටි ගණනක් මුළුල්ලේ, ගව් හාරසියයක් පමණ ගස්වැල් වඩාත් සාමකාමීව, යහතින් වැඩ උන් බවත්, ‘අපනමින් ගීතය පුරාවට ව්‍යවහාර කෙරෙන ගස්වැල් තුරුලේ හැදී වැඩෙන ලා ගෙඩි පැහුණු ගෙඩි බවට පත් වී අප ජීවිතය සොබාදහම් මාතාව තුරුලේ  වඩාත් රමණීය ලෙසින් ගත වූ බව ගීත රචකයා විග‍්‍රහ කොට දක්වයි. නමුත් තණ්හාව නැමැති උමතුවෙන් වියරු වැටුණ මිනිසා, තම පණ නල නසන්නට පැමිණි තමාගේ මාරයා ලෙස දකියි. එනිසාම ඔවුන් නැවත නැවතත් තම පණ නල රැුක දෙන්නට ස්වර්ණමාලි කුමාරියට ආයාචනා කරයි. මනුෂ්‍යත්වය වෙනුවට තෘෂ්ණාවෙන් කුපිත වූ මිනිසා මෙකී පුරුෂාර්ථයන් මතු කිරීමට තවත් එක් හේතුවක් ලෙසින් සමකාලීන සමාජ දේශපාලන බලයද හේතුවන බව කවියා මෙම පද පෙළෙහි යටි පෙළ අරුතෙන් කීමට උත්සාහ කරයි. මිනිසත් බවේ ගුණදම් බිද දමමින් සාහසික ලෙස ගස්වැල් විනාශ කර දමන්නට මිනිසා පොළඹවන්නට ඍජුව හෝ වක‍්‍රව සමකාලීන දේශපාලන වටපිටාවද යම්තාක් දුරකට බලපෑම් කරයි. අතීතයේදී ගතකළ ස්වභාව සෞන්දර්යයට ලැදි ජීවිතය වෙනුවට වර්තමාන මිනිසා මුදල්, බලය මත යැපුණු අධික තෘෂ්ණාවෙන් දිවි ගෙවන කල්හි ගස්වැල් රැක ගන්නට ස්වර්ණමාලි කුමරියගේ   පිහිට ලබා දෙන්න යැයි සිදු කරනු ලැබූ බැගෑපත් ආයාචනයකි.

අගිල් කපුරු සුවද දුමින් අප පැදකුණු කළ වැසියෝ
නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ

                    ඈත අතීතයේදී වෘක්ෂලතාවන් හද පිරි ගෞරව පූර්වක භක්තියෙන් ඇදහූ මිනිසුන් සිටි යුගයක සුවද දුම්, සුවද මල්, කපුරු රැුගෙන වෘක්ෂලතා වටා ප‍්‍රදක්ෂිනා කරන්නට තරම් එම වැසියන් යහපත් ගුණධර්මයන්ගෙන් සුපෝෂිත වූ පිරිසක් වූහ. දේවත්වයෙන් ඇදහූ වෘක්ෂලතාවන් තමාගේ ජීවනාලිය බදු යැයි සිතූ ඔවුන් තම පණ මෙන් ගස්වැල් ආරක්ෂා කරයි. ස්වභාවධර්මය ඉතා හොදින් රැුක බලා ගත්තේ මනුෂ්‍ය වර්ගයා සතු කළගුණ සැලකීමේ ගුණය මොනවට ඔප්පු කරමිනි. නමුත් අද ඒ මිනිසාම දුර්ගුණ ඇති පුද්ගලයෙකු බවට පත් වී සොබාදහම විනාශ කරමින් නිරුදක කතරක් එනම් ජල බිදකුදු නොමැති වූ මූසල කාන්තාරයක් හෙට දවසේදී නිර්මාණය කරන බව කවියා පවසන්නේ මෙකී සමාජ අසාධාරණත්වයේ පවතින බරපතල බව තවදුරටත් සමාජයට හෙලිදරව් කරමිනි. අතීතයේදී මිනිසුන්ගේ දුක් ගැනවිලිවලට සාවදානව සවන් දුන් දෙවි දේවතාවූන්ට අද තෙද බල අහිමිව ගොස් අවි බලයට තම හිස නමන්නට සිදුව ඇති බව කවියා තවදුරටත් පවසයි. අවියට, පෙරෝවට, කියතට හිස නමනවා විනා ඊට එරෙහිව නැගී සිටින්නට මහා තෙද බලැති දෙවියන්ටවත් නොහැකිව ඇති යුගයක වෘක්ෂලතා වෙනුවන් කතා තරන්නට කිසිවෙකු හෝ නොවන බව අවසාන වශයෙන් පවසයි. මෙම පද පේළිය තුළින්ද ඔප්පු කිරීමට උතසාහ ගෙන ඇත්තේ පවතින සමාජ ක‍්‍රමය තුළ දේශපාලන බල පුළුවන්කාරකම්වලට හිස නමන්නට මිනිසුන්නට පමණක් නොව දෙවියන්ටද සිදුවී ඇති බව ගේය පද රචකයා යටි පෙළ අර්ථය හරහා කීමට උත්සාහ ගෙන ඇත. ගීතයෙහි අවසානය වන විට මෙම සමාජ අසාධරණයේ පවතින බරපතල බව සමාජයට අවධාරණය කරන අතරම දෙවියන්ට හෝ පිහිට වීමට බැරි ලෙසින් මෙම සමාජ ගැටලූව උඩු දුවා ඇති බව කීමට උත්සාහ ගෙන ඇත.
                        ‘වන විනාශයනැමැති සමාජ අසාධාරණත්වය වෙනුවෙන් රචිත සමාජ විරෝදාකල්ප ගීයක් වන මෙම ගීතය අජන්තා රණසිංහයන්ගේ තේමාවට උචිත අපූරු පද පේළියට රමණීය බව එක්කාසු කරන්නට  තනු නිර්මාපක පේ‍්‍රමසිරි කේමදාසයන්ට හැකි වී ඇති අතර තම අපූරු ගායන විලාසය හරහා එම රමණීය ගී තනුවට මනෝ රමණීය බව එක්කාසු කරන්නට අයිවෝ ඩෙනිස් නැමැති අත්විශිෂ්ඨ ගායන ශිල්පියාට හැකි වී ඇත.  අවසාන වශයෙන් බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේගීතය ප‍්‍රචාරකවාදී විරෝදා කල්ප ගීතයක් නොව නිර්මාණශීලී විරෝදාකල්ප ගීතයක් වන බව හදුනා ගැනීමට හැකිය.

වැස්ස

  කර්කෂ වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම...